ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු පද්ධතිය ඉලක්ක කර ගනිමින් වර්ධනය වන සංවිධානාත්මක සයිබර් ජාවාරමක් හේතුවෙන් ගනුදෙනුකරුවන් දැඩි ලෙස විමසිලිමත් විය යුතු බවට බැංකු ආයතන රැසක් අනතුරු අඟවා සිටියි. දැනටමත් මෙරට ප්‍රධාන පෙළේ බැංකු දොළහකට අධික ප්‍රමාණයක් ඉලක්ක කර ගනිමින් මෙම වංචනික ක්‍රියාවන් සිදුවන බව අනාවරණය වී ඇත.
වංචාව සිදුකරන ආකාරය: බැංකුවල නිල වෙබ් අඩවිවලට සමාන ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කර, ගිණුම අත්හිටුවා ඇති බවට හෝ මුරපදය වෙනස් කරන ලෙස පවසමින් ව්‍යාජ සබැඳි (Links) කෙටි පණිවිඩ හෝ විද්‍යුත් තැපෑල මගින් එවනු ලබයි. ගනුදෙනුකරු එම ව්‍යාජ අඩවියේ තොරතුරු ඇතුළත් කළ සැණින් හැකර්වරුන් එම දත්ත සැබෑ බැංකු අඩවියට ඇතුළත් කර, ගනුදෙනුකරුට ලැබෙන OTP අංකය ද සූක්ෂ්ම ලෙස ලබාගෙන ගිණුම්වල මුදල් සොරකම් කරනු ලබයි.
හැටන් නැෂනල් බැංකුව (HNB): නිල වෙබ් අඩවිය ලෙස පෙනී සිටින වංචනික වෙබ් අඩවි පිළිබඳ සුපරීක්ෂාකාරී වන ලෙසත්, සැමවිටම වෙබ් බ්‍රවුසරයට www.hnb.lk ලෙස ලිපිනය ඇතුළත් කර හෝ නිල ජංගම යෙදුම හරහා පමණක් සේවා ලබා ගන්නා ලෙසත් දැනුම් දෙයි.
ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව: sc.com/lk ලෙස පෙනී සිටින ව්‍යාජ වෙබ් අඩවි පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත්, කිසිදු සැක සහිත සබැඳියක් මත ක්ලික් නොකරන ලෙසත් සිය සේවාදායකයන්ට උපදෙස් ලබා දෙයි.
පෑන් ඒෂියා බැංකුව (PABC): තොරතුරු ඇතුළත් කිරීමට පෙර වෙබ් අඩවියේ ලිපිනය පරීක්ෂා කරන ලෙසත්, මාර්ගගත බැංකු සේවා සඳහා https://online.pabcbank.com යන ලිපිනය පමණක් භාවිත කරන ලෙසත් අවධාරණය කරයි. ලැබෙන OTP අංක කිසිවකු සමඟ බෙදා නොගන්නා ලෙස ද ඔවුහු දන්වා සිටිති.
ඩී.එෆ්.සී.සී. බැංකුව (DFCC): වංචනික වෙබ් අඩවිවල අක්ෂර වින්‍යාසය වැරදි ලෙස හෝ සුළු වෙනස්කම් සහිතව තිබිය හැකි බැවින් ඕනෑම තොරතුරක් ඇතුළත් කිරීමට පෙර වෙබ් ලිපිනය දෙවරක් පරීක්ෂා කිරීම වැදගත් බව පෙන්වා දෙයි.
සම්පත් බැංකුව: විවිධ ප්‍රවර්ධන දීමනා හෝ වට්ටම් පෙන්වමින් සමාජ මාධ්‍ය හරහා ලැබෙන සබැඳි වෙත පිවිසීමෙන් වළකින ලෙසත්, www.sampath.lk වෙබ් අඩවිය හෝ නිල ජංගම යෙදුම පමණක් භාවිත කරන ලෙසත් ‘සම්පත් විශ්ව’ පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටියි.














