කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය යටතේ ලබන වසරේ මුල් භාගයේ සිට විදුලි දුම්රිය සේවා ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් අතර ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී ඇත.
පළමු අදියර යටතේ මරදානේ සිට මාකුඹුර දක්වා වූ කැළණිවැලි මාර්ගය, කොළඹ කොටුවේ සිට රාගම දක්වා ප්‍රධාන මාර්ගය සහ කොළඹ කොටුවේ සිට පානදුර දක්වා වූ වෙරළබඩ මාර්ගයේ විදුලි දුම්රිය සේවා ආරම්භ කිරීමට නියමිතය. මෙහිදී දැනට පවතින පුළුල් මාපක (Broad Gauge) පද්ධතිය වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල පද්ධතියක් භාවිතා කරමින් දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව ද සාකච්ඡා වී තිබේ.
ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයා ගැනීම සහ එය ක්‍රියාත්මක කිරීමේදී මතුවන අභියෝග පිළිබඳව ද නිලධාරීන් මෙහිදී කරුණු පැහැදිලි කළහ. මෙම නවීකරණ කටයුතු ලබන වසරේ මුල් භාගයේදී ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර, එමඟින් කොළඹ නගරයේ පොදු ප්‍රවාහන සේවාව ඉහළ මට්ටමකට ගෙන ඒමට අපේක්ෂිතය.













