අනුරාධපුර පුදබිමේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු විසින් 15 හැවිරිදි බාලවයස්කාර දැරියක වරින් වර ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් නිට්ටඹුව ප්‍රදේශයේ ලැගුම්හලක තම පෙම්වතා සමඟ රැඳී සිටි මෙම දැරිය පොලිස් භාරයට ගෙන ඇති අතර අනතුරුව සිදුකළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී ඇය ලිංගික අපරාධයකට ලක්ව ඇති බව තහවුරු වී ඇත. ප්‍රශ්න කිරීම් හමුවේ දැරිය ප්‍රකාශ කර ඇත්තේ තමන්ව මුලින්ම ලිංගික අපරාධයකට ලක් කළේ අදාළ විහාරාධිපති හිමිනම බවයි. පසුව ඇයගේ පෙම්වතා සහ ඥාති සහෝදරයෙකු ද තමන්ව අපයෝජනය කළ බව ඇය පවසා තිබේ
විශේෂ පොලිස් කණ්ඩායමක් අනුරාධපුරයට ගොස් අදාළ විහාරාධිපති හිමියන්ගෙන් පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත. එමෙන්ම දැරිය ද එම ස්ථානයට රැගෙන ගොස් ස්ථානීය පරීක්ෂණයක් පවත්වා තිබේ. දැරියගේ මව්පියන් අදාළ හිමිනමගෙන් වරින් වර මුදල් ලබාගෙන තම දියණිය උන්වහන්සේට ලබා දී ඇති බව ද මූලික විමර්ශනවලදී හෙළි වී ඇත. දැරිය ප්‍රකාශ කර ඇත්තේ ප්‍රථම අපයෝජනයෙන් පසු රුධිරය තැවරුණු ඇඳුම් තමන් විසින්ම වළ දැමූ බවයි.
අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා විසින් මෙම විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙස පොලිසියට නියෝග කර තිබේ. වින්දිත දැරිය දැනට රාගම ප්‍රදේශයේ පිහිටි විශේෂ ළමා නිවාසයක ආරක්ෂාව යටතේ රඳවා සිටී.














