ලෝක පරිසර දිනය සැමරීම වෙනුවෙන් දේශගුණික විපර්යාසයන්ට විසඳුම් සෙවිය හැකි නවෝත්පාදන දිරිමත් කිරීමේ අරමුණින් විශේෂ නිර්මාණ තරඟාවලියක් සංවිධානය කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත. දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීම සහ ඒ සඳහා මුහුණ දිය හැකි නව නිර්මාණ ඇගයීම මෙම තරඟයේ ප්‍රධාන අරමුණයි. මෙහිදී පිරිසිදු බලශක්තිය, හරිත ප්‍රවාහනය, විධිමත් අපද්‍රව්‍ය කළමනාකරණය, සොබාදහම ප්‍රතිස්ථාපනය, තිරසාර කෘෂිකර්මාන්තය, ජල කළමනාකරණය සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ඇති නගර නිර්මාණය වැනි තේමාවන් යටතේ නිර්මාණ ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතින බව එම අධිකාරිය සඳහන් කරයි.
තරඟය සඳහා ඉදිරිපත් වන අයදුම්කරුවන් තමන්ගේ නව නිර්මාණය හෝ එහි ආකෘතිය පිළිබඳ විනාඩි තුනත් පහත් අතර කාලයකින් යුත් වීඩියෝ වාර්තාවක් මඟින් කරුණු ඉදිරිපත් කළ යුතුය. අදාළ නිර්මාණය ක්‍රියාත්මක වන ආකාරය සහ එය දේශගුණික විපර්යාස පාලනයට දායක වන ආකාරය එහි පැහැදිලිව අන්තර්ගත විය යුතුය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ අයදුම්පත් යොමු කිරීමේ උපදෙස් මධ්‍යම පරිසර අධිකාරියේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය. මෙලෙස තේරී පත්වන ජයග්‍රාහකයින් සඳහා ලෝක පරිසර දින ජාතික උත්සවයේදී වටිනා ත්‍යාග සහ සහතික පිරිනැමීමටද කටයුතු යොදා ඇත.














