FIFA සම්මේලනයට සහභාගී වීම සඳහා කැනඩාවට පැමිණි ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපති මෙහෙදි ටාජ් ඇතුළු නියෝජිත පිරිසට එරට ආගමන විගමන නිලධාරීන්ගෙන් එල්ල වූ බාධා කිරීම් හේතුවෙන් ආපසු හැරී යාමට සිදුව ඇති බව වාර්තා වේ. වෑන්කුවර් හි පැවැත්වීමට නියමිතව තිබූ මෙම හමුවට සහභාගී වීමට ඔවුන් පැමිණ ඇත්තේ වලංගු වීසා බලපත්‍ර සහිතව වුවද ටොරොන්ටෝ ගුවන්තොටුපළේදීම ඔවුන්ව නැවත හරවා යවා ඇත.
මෙම තීරණයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ සභාපති මෙහෙදි ටාජ් හට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සමඟ පවතින බව කියන සබඳතාවයයි. කැනඩාව විසින් 2024 වසරේදී IRGC සංවිධානය ‘ත්‍රස්තවාදී සංවිධානයක්’ ලෙස නම් කර ඇති බැවින් එහි සාමාජිකයන්ට රට තුළට ඇතුළු වීම තහනම් වේ. කැනඩා රජය අවධාරණය කර ඇත්තේ IRGC නිලධාරීන්ට කැනඩාව තුළ ඉඩක් නොමැති බව සිය ස්ථාවර ප්‍රතිපත්තිය බවයි.
කෙසේ වෙතත් කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍ය ඇනිටා ආනන්ද් ප්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීම “නොදැනුවත්ව” සිදු වූවක් බවයි. පෙබරවාරි මාසයේදී ඉරානය සමඟ ඇති වූ දේශපාලන නොසන්සුන්තාවන් මධ්‍යයේ මෙම සිදුවීම වාර්තා වන අතර මෙය ඉදිරි ලෝක කුසලාන තරඟාවලිය කෙරෙහි ද බලපෑමක් එල්ල කළ හැකි බව සඳහන් වේ.
FIFA සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ මෙම සිදුවීම පිළිබඳව සිය කණගාටුව පළ කර ඇති අතර ඉදිරියේදී ඉරාන නියෝජිතයන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද තීරණය කර ඇත. මෙවර ලෝක කුසලානය කැනඩාව, අමෙරිකාව සහ මෙක්සිකෝව යන රටවල සම සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබියදී ඉරාන ක්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට නිදහසේ ගමන් කිරීමට ඇති හැකියාව පිළිබඳව මේ හරහා සැකයක් මතු වී තිබේ.v














