මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගනිමින් පෝෂණය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට අදාළ ක්‍රියාවලියේ ප්‍රගතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී විමසා බැලීය. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ නායයෑම් හේතුවෙන් මධ්‍යම කඳුකරයට සිදු වූ හානි සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.
ඉහළ ජල පෝෂක ප්‍රදේශවල පාරිසරික ගැටලුවලට විසඳුම් සෙවීම සහ මධ්‍යම කඳුකරය රැක ගැනීම මෙම අධිකාරිය පිහිටුවීමේ අරමුණයි. ඊට අදාළ යෝජනා සහ නීතිමය ප්‍රතිපාදන පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, ඉදිරි කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ශ්‍රී ලංකාවේ ඉහළ ජලධාර ප්‍රදේශවල පාරිසරික ප්‍රතිස්ථාපනය සහ කළමනාකරණය මෙම නව අධිකාරියට පැවරේ. ජාතික ජල සුරක්ෂිතතාව, ආහාර සුරක්ෂිතතාව, ආපදා අවදානම අවම කිරීම මෙන්ම දේශගුණික විපර්යාසයන්ට අනුකූල වීම යන අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් අමාත්‍යාංශ රැසක සම්බන්ධීකරණය මෙයින් සිදු කෙරේ.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන්, පරිසරවේදීන්, ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිරිසක් එක්ව සිටියහ.














