මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් ගිණුමකට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලා සිටි විවාදය ලබාදීමට සභානායකවරයා එකඟත්වය පළ කර තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ මෙම පාර්ලිමේන්තු සතියේ පවතින කාර්යබහුලත්වය හේතුවෙන් අදාළ විවාදය ඊළඟ පාර්ලිමේන්තු සතිය තුළ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ස්ථාපිත කර වසර 44ක් සපිරීම නිමිත්තෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙම සතිය තුළ අණපනත් ගණනාවක් සම්මත කරගැනීමට නියමිතව ඇති අතර වියට්නාම් ජනපතිවරයා එළඹෙන 8 වැනි දින පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතය. එබැවින් මෙම කටයුතු අවසන් වීමෙන් පසුව මීළඟ සතියේ විපක්ෂය ඉල්ලා සිටි විවාදය සඳහා අවස්ථාව හිමිවනු ඇත.














