පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් යටතේ ක්‍රියාත්මක වූ කණ්ඩායමක් විසින් සිදු කරන ලදැයි කියන ඝාතන ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් විදේශගතව සිටින සාක්ෂිකරුවකුගෙන් සාක්ෂි ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සූදානම් වේ.
එම සාක්ෂිකරු දැනට යුරෝපීය රටක දේශපාලන රැකවරණය ලබමින් සිටින අයෙකු වන අතර, මෙම අපරාධ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් දන්නා අයෙකු බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කර ඇත.
මේ දිනවල පැවැත්වෙන ජාත්‍යන්තර පොලිස් සමුළුවකට සහභාගි වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විදේශගතව සිටින අතර, එහිදී අදාළ සාක්ෂිකරු හමුවී සාක්ෂිය සටහන් කර ගැනීමට හැකිවනු ඇතැයි පොලිසිය විශ්වාසය පළ කරයි.














