රජයේ භාණ්ඩාගාරයට අයත් ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී අතිශය බරපතළ තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව රාජ්‍ය මුදල් කාරක සභාවේ (COPF) සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සහ මහ බැංකුවේ නිලධාරීන්ගෙන් පැය තුනකට අධික කාලයක් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම තොරතුරු හෙළි වී තිබේ.
පසුගිය නොවැම්බර් සහ ජනවාරි මාස අතර කාලය තුළ කිසිදු සොයා බැලීමකින් තොරව අවස්ථා 10කදී මෙම මුදල් ප්‍රශ්නගත ගිණුමට බැර කර ඇත. මෙම ගෙවීම් දහයෙන් එකක්වත් අදාළ පාර්ශ්වයට ලැබී නොමැති බවත් ඒ සියල්ල වංචාවකට ලක්ව ඇති බවත් රජය දැනගෙන ඇත්තේ මාර්තු මාසයේදීය. මෙම ගෙවීම් පිළිබඳව මුලින්ම සැක සහිත ලක්ෂණ මතු වී ඇත්තේ ජනවාරි මාසයේදී වුවද ඉන් පසුවද නිසි ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද වී තිබේ. ඕස්ට්‍රේලියාවෙන් දැනුම් දෙන තෙක් මෙම ගෙවීම් අදාළ පාර්ශ්වයට ලැබී නැති බව මෙරට බලධාරීන් දැන නොසිටීම බරපතළ ගැටලුවක් බව සභාපතිවරයා පෙන්වා දෙයි.
රජයේ ණය කළමනාකරණ කටයුතු මහ බැංකුවේ සිට භාණ්ඩාගාරයේ අලුත් ආයතනයක් වෙත පැවරීමේ සංක්‍රාන්ති සමයේ පවතින පද්ධතිමය හිඩැස් උපයෝගී කර ගනිමින් මෙම සොරකම සිදුව ඇති බව හඳුනාගෙන ඇත. මෙම වංචාව සිදුවීමට ඉඩ සැලසූ නීතිමය සහ ක්‍රියාපටිපාටියෙහි පවතින දුර්වලතා පිළිබඳව රාජ්‍ය මුදල් කාරක සභාවේ අවධානය යොමු වී තිබේ. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හරහා දැනටමත් විමර්ශන ආරම්භ කර ඇත.
අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5ක මුදල නැවත ලබා ගැනීමට නොහැකි වුවහොත් අවසානයේ එම බර දැරීමට සිදුවන්නේ මෙරට බදු ගෙවන ජනතාවට බව හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි. සිද්ධිය පිළිබඳ සියලු සාක්ෂි සහිත සම්පූර්ණ වාර්තාවක් මාසයක් ඇතුළත කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට නියෝග කර තිබේ.














