හැටන් සිට රාණිකාඩුව දක්වා අධික ලෙස බීමත්ව මගීන් රැගෙන බස් රථයක් ධාවනය කළ රියදුරෙකු බගවන්තලාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් මධුසංඛ මහතා මේ බව තහවුරු කළේය.
පසුගිය 29 වන දින බස් රථයේ රියදුරා අධික ලෙස බීමත්ව සිටින බවට එහි ගමන් ගත් මගීන් කළ දැනුම්දීමකට අනුව පොලිස් නිලධාරීන් බස් රථය ලුහුබැඳ ගොස් ඇත. අනතුරුව බගවන්තලාව කැම්පියන් නගරයේදී බස් රථය නතර කර රියදුරාව අත්අඩංගුවට ගෙන තිබේ. රියදුරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බස් රථය තුළ මගීන් 25 දෙනෙකු පමණ සිටි අතර ඔවුන්ව වෙනත් බස් රථ මගින් සිය ගමනාන්ත කරා යැවීමට පොලිසිය පියවර ගෙන ඇත.
අත්අඩංගුවට ගත් රියදුරා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඔහුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගැනීමට නියමිතය.
මෙම මාර්ගයේම ගමන් ගත් වෙනත් බස් රථයක් පසුගිය 28 වන දින අනතුරට පත්වීමෙන් පාසල් ළමුන් 34 දෙනෙකු තුවාල ලැබූ පසුබිමක මෙම රියදුරාගේ අපරීක්ෂාකාරී හැසිරීම වාර්තා වී තිබේ.














