ශ්‍රී ලංකාව සහ ලෙබනනය අතර පවතින වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපති අනුර විතානගේ මහතා සහ බීරූට් වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා අතර මෙම හමුව බීරූට් නුවරදී පැවැත්විණි.
දෙරට අතර වාණිජ සබඳතා වර්ධනය කර ගත හැකි නව අවස්ථා පිළිබඳව මෙහිදී පුළුල් ලෙස ගවේෂණය කෙරිණි. බීරූට් වාණිජ මණ්ඩලයේ සාමාජිකයන් අතර ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමටත්, ඉදිරි ආනයන හා අපනයන කටයුතු සඳහා තානාපති කාර්යාලය සමඟ සමීපව කටයුතු කිරීමටත් එහි සභාපතිවරයා සිය කැමැත්ත පළ කර ඇත.
මෙම සබඳතා වර්ධනය කර ගැනීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිෂ්පාදන වන තේ සහ කුළුබඩු ප්‍රදර්ශනයක් වාණිජ මණ්ඩල පරිශ්‍රයේදී පැවැත්වීමට දෙපාර්ශ්වයම එකඟ වී තිබේ. ඊට අමතරව, දෙරටේ වාණිජ මණ්ඩල අතර ව්‍යාපාරික හවුල්කාරීත්වය ඇති කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ද මූලික කටයුතු ආරම්භ කර ඇත.
















