බඹරකන්ද දියඇල්ල සහ ලංකා ඇල්ල නැරඹීමට ගිය සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අවසන් වසරේ සිසුන් තිදෙනෙකු කැලෑවේ අතරමංව සිටියදී හල්දුම්මුල්ල පොලිසිය විසින් නිරුපද්‍රිතව බේරාගෙන තිබේ. සිසුන් හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම සංචාරයට එක්ව සිටි අතර ඔවුන් ලංකා ඇල්ල නැරඹීමට ගිය අවස්ථාවේදී හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් සිසුන් තිදෙනෙකුට ආපසු පැමිණීමට නොහැකිව කොටුවී ඇත.
දියඇල්ලෙන් එගොඩවීමට උත්සාහ කළ අවස්ථාවේදී ඇති වූ දැඩි ජල ප්‍රවාහය නිසා සෙසු සිසුන් තිදෙනාට එගොඩ වීමට නොහැකි වී තිබේ. අනතුරුව නිරුපද්‍රිතව මෙගොඩට පැමිණි සිසුවෙකු විසින් හල්දුම්මුල්ල පොලිසියට ලබා දුන් දුරකථන ඇමතුමකට අනුව, රාත්‍රී කාලයේ පැවති අයහපත් කාලගුණය නොතකා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වහාම එම ස්ථානයට ළඟා වී සිසුන් තිදෙනා බේරාගෙන ඇත.
පොලිස් නිලධාරීන් එම ස්ථානයට ළඟාවන විට ජල පහරෙහි වේගය තරමක් අඩුවී තිබූ අතර, සිසුන් තිදෙනා ආරක්ෂිතව පොලිසිය වෙත රැගෙන ඒමට නිලධාරීන්ට හැකි විය. සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කෙරේ.














