ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඉතාලි තානාපති ඩැමියානෝ ෆ්‍රැන්කොවි (Damiano Francovigh) මහතා පසුගියදා ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා හමුවිය.
ආරක්ෂක ලේකම්වරයා විසින් නව තානාපතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව පැවති සුහද සාකච්ඡාව වඩාත් ඵලදායි අන්දමින් පැවැත්විණි. මෙම හමුවේදී දෙරටටම වැදගත් වන ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගිතාව ඉහළ නැංවීම පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.
ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතාව පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ තානාපති ෆ්‍රැන්කොවි මහතා, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගිතාව පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමට තම කැමැත්ත මෙහිදී යළි තහවුරු කළේය.
















