ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ජනගහනය අඛණ්ඩව වර්ධනය වී ඇති අතර, ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්තවලට අනුව 2025 වසරේ මැද භාගය වන විට එම සංඛ්‍යාව 184,800ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2024 ජූනි මාසයේදී 172,800ක් ලෙස පැවති මෙම සංඛ්‍යාව, 2023 වසරේදී 158,300ක් විය. වසංගත තත්ත්වයෙන් පසු පවතින සංක්‍රමණ ප්‍රවණතා මෙයට ප්‍රධාන හේතුව වී ඇත. මේ වන විට ඕස්ට්‍රේලියාවේ වෙසෙන විදේශීය සම්භවයක් ඇති ජනගහනය අතරින් ඉහළම 10 දෙනා අතරට ශ්‍රී ලංකාව පැමිණ සිටින අතර, මැලේසියානු සම්භවයක් ඇති වැසියන්ට වඩා තරමක් ඉදිරියෙන් ශ්‍රී ලාංකිකයන් පසුවෙයි. දශකයකට පෙර, එනම් 2013 වසරේදී 110,000ක් පමණව පැවති මෙම ජනගහනය වර්තමානය වන විට 185,000කට ආසන්න වී ඇත්තේ ඕස්ට්‍රේලියානු සංක්‍රමණික ජනගහනය තුළ ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වය සැලකිය යුතු ලෙස වර්ධනය කරමිනි. ඕස්ට්‍රේලියාවේ වෙසෙන විශාලතම විදේශීය ජනගහනය ලෙස ඉන්දීය සම්භවයක් ඇති පිරිස පසුවන අතර, දෙවන ස්ථානය එංගලන්තයේ උපත ලැබූවන්ට හිමිව තිබේ.














