දෙහිවල සත්වෝද්‍යානයේ උපන් සිංහ පැටවුන් දෙදෙනාට නම් යෝජනා කිරීමට දරුවන්ට විශේෂ අවස්ථාවක් උදා වී තිබේ. පසුගිය දෙසැම්බර් 24 වන දින උපත ලැබූ මෙම පිරිමි සහ ගැහැනු සිංහ පැටවුන් දෙදෙනාගේ නම් යෝජනා කිරීම සඳහා ලබන සතියේ සිට සති දෙකක කාලයක් ලබා දී ඇත. සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ මහතා පැවසුවේ, මෙම සිංහ පැටවුන් දෙදෙනා දිනපතා පෙරවරු 10.00 සිට 11.30 දක්වා කාලය තුළ මහජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවයි. ඉතා ක්‍රියාශීලී සහ සෙල්ලක්කාර ස්වභාවයෙන් පසුවන මෙම පැටවුන් දෙදෙනා නැරඹීමට පැමිණෙන ලෙස සත්වෝද්‍යාන පාලනාධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, ජයග්‍රාහී නම් යෝජනා කරන දරුවන් සඳහා නම් තැබීමේ උත්සවයේදී විශේෂ ත්‍යාග පිරිනැමීමට ද නියමිතය.














