සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේගේ බාල පුත්‍රයා වන බෙලර්මින් චටුංගා මුගාබේට දකුණු අප්‍රිකානු අධිකරණයක් විසින් දැවැන්ත දඩ මුදලක් නියම කර ඔහුව එරටින් පිටුවහල් කිරීමට නියෝග කර තිබේ.
චටුංගා මුගාබේට එරෙහිව සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා පුද්ගලයෙකු බියගැන්වීම සහ දකුණු අප්‍රිකානු සංක්‍රමණික නීති උල්ලංඝනය කිරීම යන චෝදනා එල්ල වී තිබුණි. ඔහු සහ තවත් පුද්ගලයෙකු පසුගිය පෙබරවාරි මාසයේදී අත්අඩංගුවට පත්වූයේ ජොහැනස්බර්ග් නුවර පිහිටි නිවසක සේවකයෙකුට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔවුන් දෙදෙනාම පැමිණිලි පාර්ශ්වය සමඟ ඇති කරගත් එකඟතාවයක් මත චෝදනාවලට වරද පිළිගෙන ඇත.
සෙල්ලම් පිස්තෝලය පෙන්වීමේ වරදට රැන්ඩ් 400,000 ක (ඇමරිකානු ඩොලර් 24,100) දඩයක් නියම විය.
මොහු සමඟ සිටි අනෙක් පුද්ගලයා වූ ටෝබියාස් මටොන්හොඩ්සේ, සේවකයා ඝාතනය කිරීමට තැත් කිරීම ඇතුළු චෝදනාවලට වරද පිළිගැනීම නිසා වසර තුනක සිරදඬුවමකට යටත් කර ඇති අතර සිරදඬුවම නිමවීමෙන් පසු ඔහුවද පිටුවහල් කිරීමට නියමිතය.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සේවකයාට වන්දි වශයෙන් රැන්ඩ් 250,000 ක මුදලක් මේ වන විටත් ලබා දී ඇති අතර තවත් රැන්ඩ් 150,000 ක මුදලක් ඉදිරියේදී ලබා දිය යුතුය. කෙසේ වෙතත් වෙඩි තැබීමට යොදාගත් සැබෑ ගිනි අවිය මෙතෙක් සොයාගෙන නොමැත. බෙලර්මින් චටුංගාගේ පියා වන රොබට් මුගාබේ වසර 37 ක් සිම්බාබ්වේ රාජ්‍යය පාලනය කළ අතර 2017 හමුදා කුමන්ත්‍රණයකින් පසු බලයෙන් පහවී 2019 වසරේදී අභාවප්‍රාප්ත විය.














