දිවයිනේ ප්‍රදේශ කිහිපයක උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව වයඹ, උතුරු මැද, උතුරු, නැගෙනහිර සහ සබරගමුව යන පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි විජලනය වැනි ශාරීරික අපහසුතා මඟහරවා ගැනීම සඳහා ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෘජු හිරු එළියට නිරාවරණය වීම අවම කරන ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. විශේෂයෙන්ම එළිමහනේ වැඩ කරන පුද්ගලයින් සහ වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස දැනුම් දී ඇත.














