15 හැවිරිදි පාසල් සිසුවෙකු බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට වරදකරු වූ දහම් පාසල් ගුරුවරයෙකුට මොනරාගල මහාධිකරණ විනිසුරු ආචාර්ය දමිත් නලින්ද හේවාවසම් මහතා විසින් වසර 24ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ. පසුගිය අප්‍රේල් 30 වන දින මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
මොනරාගල, එතිමලේ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි උරුමුත්ත ගමගේ චන්දන නැමැති මෙම ගුරුවරයා 2015 වසරේදී මෙම සිසුවා පාපැදියකින් රහසිගත ස්ථානයකට රැගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක් කර තිබුණි. ඔහුට එරෙහිව ගොනු කර තිබූ චෝදනා දෙකක් ඔප්පු වීම හේතුවෙන් එක් චෝදනාවකට වසර 12 බැගින් වසර 24ක සිරදඬුවම් නියම වූ අතර, එම දඬුවම් වසර 12ක කාලයක් තුළ ගෙවී යන පරිදි එකවර ක්‍රියාත්මක කිරීමට නියෝග කෙරිණි.
මීට අමතරව, එක් චෝදනාවකට රුපියල් 100,000 බැගින් දඩ මුදලක් සහ වින්දිත සිසුවා වෙත වන්දි වශයෙන් රුපියල් 500,000ක් ගෙවන ලෙසද අධිකරණය නියෝග කළේය. දඩ මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් වසරක සරල සිරදඬුවමක් සහ වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් වසර තුනක සරල සිරදඬුවමක්ද නියම කෙරිණි. රජයේ අධිනීතිඥ දුමින්ද ද අල්විස් මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.














