ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර හබීමා චතුරස්‍රය වෙත දහස් සංඛ්‍යාත ජනතාවක් රොක් වෙමින් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ පාලනයට සහ වත්මන් යුද ප්‍රතිපත්තිවලට එරෙහිව දැවැන්ත විරෝධතාවයක නිරත වන බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. විරෝධතාකරුවන් ඉරානය සමඟ ඇති වී තිබෙන යුදමය තත්ත්වයට සිය දැඩි අප්‍රසාදය පළ කරන අතර මෙය තවදුරටත් වර්ධනය නොකළ යුතු බවට සටන් පාඨ කියමින් රජයට බල කර සිටිති.
යුද්ධයට අමතරව රට තුළ පවතින සමාජීය අසමතුලිතතාවයන් පිළිබඳව ද මෙහිදී විරෝධතා මතු වී තිබේ. විශේෂයෙන්ම අන්ත ඕතඩොක්ස් යුදෙව්වන් සඳහා මෙතෙක් හමුදා සේවයෙන් ලබා දී තිබූ නිදහස් කිරීම් වහාම අහෝසි කර ඔවුන්ව ද අනිවාර්ය හමුදා සේවයට බඳවා ගත යුතු බව විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වී ඇත. එමෙන්ම හමාස් සංවිධානය විසින් සිදුකළ ඔක්තෝබර් 07 ප්‍රහාරය වළක්වා ගැනීමට රජය සහ ආරක්ෂක අංශ අසමත් වීම පිළිබඳව පූර්ණ සහ විනිවිද පෙනෙන පරීක්ෂණයක් වහාම ආරම්භ කරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.
අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් යුද්ධය දිගු කරන බවට චෝදනා කරන විරෝධතාකරුවන් ඔහු වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව අවධාරණය කරයි. මෙම දැවැන්ත ජනතා නැගිටීම ඊශ්‍රායල රජය කෙරෙහි පවතින මහජන විශ්වාසය බරපතළ ලෙස බිඳවැටී ඇති බව පෙන්නුම් කරන තවත් සුවිශේෂී අවස්ථාවක් ලෙස විදේශ මාධ්‍ය පෙන්වා දෙයි.














