මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා රාජ්‍ය සංචාරයක් සඳහා අද (03) මෙරටට පැමිණීමට නියමිතය. 2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ඒ මහතා ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු නිල සංචාරය මෙය වීම විශේෂත්වයකි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ ආරාධනයක් මත දිවයිනට පැමිණෙන මාලදිවයින් ජනාධිපතිවරයා ලබන 06 වන දින තෙක් මෙරට රැඳී සිටීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම සංචාරය අතරතුර දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ජනාධිපතිවරුන් දෙපළ අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වෙනු ඇත. එහිදී විවිධ ක්ෂේත්‍රයන්ට අදාළව දෙරටේ සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් 06කට අත්සන් තැබීමට ද සැලසුම් කර තිබේ.
ජනාධිපතිවරයාගේ මෙම රාජ්‍ය සංචාරය නිමිත්තෙන් අද (03) සිට ලබන 06 වැනිදා දක්වා කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය දන්වා සිටියි. දකුණු ආසියාතික කලාපීය සහයෝගීතාවයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම සංචාරය විදේශ විචාරකයන්ගේ ඇගයීමට ලක්ව ඇත.














