රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mikhail Murashko) මහතා ඇතුළු විශේෂ දූත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා අද (03) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ද්වීපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමයි.
සංචාරය අතරතුර රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ විශේෂ සාකච්ඡා පවත්වනු ඇත. එහිදී ඖෂධ නිෂ්පාදනය, වෛද්‍ය උපකරණ, විශේෂඥ වෛද්‍ය පුහුණුව, ආයුර්වේදය සහ සෞඛ්‍ය සංචාරක කර්මාන්තය යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරේ. මීට අමතරව ඔහු විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ද හමුවීමට නියමිතය.
සැලසුම් කර ඇති වැඩසටහනට අනුව හෙට (04) දිනයේදී රුසියානු නියෝජිත පිරිස කොළඹ ජාතික රෝහල සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය නිරීක්ෂණය කිරීමට ද නියමිතව තිබේ. මෙම සංචාරය අවසානයේ දෙරටේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර නව අවබෝධතා ගිවිසුම් කිහිපයකට එළඹීමට ද අපේක්ෂා කෙරෙන අතර රුසියානු දූත පිරිස ලබන 05 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.














