ලෝකයේ ඕනෑම රටක් සමඟ සබඳතා පැවැත්වීමට තායිවානයට අයිතියක් ඇති බවත්, එය වැළැක්වීමට කිසිදු රටකට නොහැකි බවත් තායිවාන ජනාධිපති ලායි චින්ග්-ටේ ප්‍රකාශ කළේය. එස්වාටිනි රාජධානිය වෙත අනපේක්ෂිත ලෙස පැමිණි ජනාධිපතිවරයා එරට රජු හමුවේ මෙම අදහස් පළ කළේය. බෙයිජිං පාලනය විසින් මෙම සංචාරය නැවැත්වීමට උත්සාහ කළ බව තායිපේ පවසන අතර, චීනය ජනාධිපතිවරයා හඳුන්වා ඇත්තේ “මීයා” යනුවෙනි.
ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන තායිවානය සිය භූමියේ කොටසක් ලෙස සලකන චීනය, තායිවානයට වෙනත් රටවල් සමඟ රාජ්‍ය-රාජ්‍ය සබඳතා පැවැත්වීමට අයිතියක් නොමැති බව අවධාරණය කරයි. එස්වාටිනි රාජධානිය යනු තායිවානය සමඟ නිල රාජ්‍ය සබඳතා පවත්වන ලොව පවතින රටවල් 12න් එකකි. පසුගිය මාසයේදී, ජනාධිපතිවරයාගේ මෙම ගුවන් යානයට ඉන්දියානු සාගර කලාපයේ රටවල් තුනක් විසින් ගුවන් ගමන් අවසරය ලබා නොදීමට චීනය බලපෑම් කළ බව තායිවානය චෝදනා කළේය.
එස්වාටිනි රජුගේ කිරුළට වසර 40ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා මෙම සංචාරය සිදු කෙරෙන අතර, තායිවානය ස්වෛරී ජාතියක් බව ජනාධිපති ලායි චින්ග්-ටේ තවදුරටත් කියා සිටී.














