දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු දෙකක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. කුරුණෑගල – පුත්තලම මාර්ගයේ කුරුණෑගල නගරය ආසන්නයේ සිදුවූ අනතුරකින් 31 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය. කුරුණෑගල දෙසට ධාවනය වූ මෝටර් රථයක රියැදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් එය මාර්ගයෙන් ඉවතට පැන විදුලි සහ දුරකතන රැහැන් කණු කිහිපයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. තුවාල ලැබූ රියැදුරු කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිටි බව පොලිසිය තහවුරු කරයි.
තවත් මාරක අනතුරක් හලාවත – කුරුණෑගල මාර්ගයේ හිරිපොකුණ ප්‍රදේශයේදී වාර්තා වේ. හලාවත සිට වාරියපොල දෙසට ධාවනය වූ මගී බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් පසු රියැදුරුට බස් රථය පාලනය කරගත නොහැකිව තවත් යතුරුපැදියක සහ ලොරි රථයක ගැටී මාර්ගය අයිනේ සිටි පදිකයෙකුගේ ද ගැටී ඇත. එම අනතුරින් බරපතළ තුවාල ලැබූ කිරිමැටියාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පදිකයා හෙට්ටිපොල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටියේය. හෙට්ටිපොල පොලිසිය විසින් බස් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.














