ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම උපයෝගී කරගනිමින්, දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ජාත්‍යන්තර වේදිකාවට හඳුන්වාදීමේ අරමුණින් විශේෂ ගෝලීය සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මෙම සමුළුව ගෝලීය ඉන්දියානු ව්‍යාපාරික සංසදය (GIBF), ජාත්‍යන්තර කෘෂිකර්ම, වැවිලි කර්මාන්ත සහ ගොවි නිෂ්පාදක සංවිධාන (ICAPIFPO) සහ AHC සමූහය එක්ව සංවිධානය කරනු ලබයි. රටවල් 20ත් 25ත් අතර ප්‍රමාණයක නියෝජිතයින්, මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් මීට සහභාගිවීමට නියමිත අතර, ඔවුන් තම රටවල පවතින ආයෝජන අවස්ථා මෙහිදී ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂිතය.
‘වෙළඳාම රාජ්‍යතාන්ත්‍රිකභාවය හමු වන තැන’ (Where Trade Meets Diplomacy) යන තේමාව යටතේ පැවැත්වෙන මෙම ජාත්‍යන්තර වෙළඳ හා ආර්ථික රාජ්‍යතාන්ත්‍රික සමුළුව එළඹෙන අගෝස්තු මස 20 සිට 22 දක්වා කොළඹදී පැවැත්වේ.
මෙම වැඩපිළිවෙළ හරහා රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ වෙළඳාම අතර පවතින බාධක ඉවත් කරමින් ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට දේශීය සීමාවන්ගෙන් ඔබ්බට යෑමට අවස්ථාව සැලසෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නීතිඥ සංසදයේ සභාපති ආචාර්ය සුනිල් අබේරත්න මහතා සඳහන් කරයි.
ප්‍රමුඛපෙළේ සමාගම් 500කට අධික සංඛ්‍යාවක් මෙම සමුළුවට එක්වන අතර, ව්‍යාපාර අතර මෙන්ම ව්‍යාපාර හා රජය අතර සෘජු සබඳතා ඇති කර ගැනීමට අවස්ථාව හිමිවේ. එමඟින් ලතින් ඇමෙරිකාව සහ කැරිබියානු කලාපය වැනි මෙතෙක් අවධානය යොමු නොකළ නව වෙළඳපොළවල් කරා පිවිසීමට දොරටුවක් විවර වනු ඇත.














