WhatsApp වීඩියෝ ඇමතුම් භාවිතා කරමින් සිදුකරන නවතම මුදල් වංචා කිරීමේ සහ කප්පම් ගැනීමේ ජාවාරමක් පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් මහජනතාව වෙත දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. මෙම වංචනික ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් සිදුවන්නේ නොදන්නා හෝ සැක සහිත දුරකථන අංකවලින් ලබාගන්නා වීඩියෝ ඇමතුම් හරහා බව හඳුනාගෙන ඇත.
මෙම වංචාවේදී සිදුවන ආකාරය අනුව, වංචාකරුවන් විසින් WhatsApp වීඩියෝ ඇමතුමක් ලබාගන්නා අතර, එහිදී ඔවුන් බොහෝ විට අසභ්‍ය හෝ නිරුවත් දර්ශන පෙන්වීමට කටයුතු කරයි. ඔබ එම ඇමතුමට පිළිතුරු දුන් සැණින්, වංචාකරුවන් විසින් ඔබගේ මුහුණ සහ එම දර්ශන සහිතව වීඩියෝවක් පටිගත කර ගනී. පසුව එම පටිගත කරගත් වීඩියෝව සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින්, එය නවතා ගැනීමට නම් විශාල මුදලක් කප්පම් ලෙස ලබා දෙන ලෙස ඔවුන් බලපෑම් සිදුකරයි.
මෙවැනි තර්ජනවලට හෝ කප්පම් ඉල්ලීම්වලට කිසිදු විටෙක යටත් නොවන ලෙසත්, වංචාකරුවන් ඉල්ලන මුදල් ලබා නොදෙන ලෙසත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී. නාඳුනන අංකවලින් එන වීඩියෝ ඇමතුම්වලට පිළිතුරු දීමෙන් වළකින ලෙසත්, එවැනි සිදුවීමකට මුහුණ දීමට සිදුවුවහොත් වහාම අදාළ දුරකථන අංකය ‘Report’ කර ‘Block’ කරන ලෙසත් ඔවුන් උපදෙස් දෙයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර සහාය ලබා ගැනීමට සහ පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත යොමුවන ලෙසත් මහජනතාවට වැඩිදුරටත් දැනුම් දී ඇත.















