මත්ද්‍රව්‍ය චෝදනාවක් මත වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම බන්ධනාගාරයේ නියාමකයින් තිදෙනෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා මේ බව තහවුරු කළේය.
පසුගිය 3 වන දින බන්ධනාගාරයේ සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුත්තක නිරතව සිටියදී පලාගිය මෙම රැඳවියා, බන්ධනාගාර නිලධාරීන් විසින් යළි අත්අඩංගුවට ගෙන භාරයට ගෙන තිබුණි. පසුව හදිසියේ රෝගාතුර වූ ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. කෙසේ වෙතත්, රැඳවියාගේ ඥාතීන් චෝදනා කරන්නේ බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.













