පසුගිය මාර්තු 27 වැනිදා සිට අඩාල වී තිබූ රජයේ රෝහල්වල “පෙට් ස්කෑන්” (PET Scan) පරීක්ෂණ සේවාව යළි ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. සැපයුම්කරුවන්ගේ ලියාපදිංචියේ ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ සහ මහරගම අපේක්ෂා රෝහලේ මෙම සේවාවන් ඇණ හිට තිබූ අතර, මේ වන විට රෝගීන් ලියාපදිංචි කිරීමේ කටයුතු යළි ආරම්භ කර ඇත.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසන පරිදි, මෙම පරීක්ෂණ සඳහා අත්‍යවශ්‍ය වන විකිරණශීලී රසායනිකය ඉදිරි දින කිහිපය තුළ දිවයිනට ළඟා වීමට නියමිතය. පිළිකා සෛලවල ක්‍රියාකාරීත්වය සහ ව්‍යාප්තිය නිවැරදිව හඳුනා ගැනීමට මෙන්ම ප්‍රතිකාරවල සාර්ථකත්වය තීරණය කිරීමට ඇති ප්‍රධානතම විද්‍යාත්මක ක්‍රමය වන මෙම සේවාව යළි සක්‍රීය වීම රෝගීන්ට ලැබුණු ඉමහත් අස්වැසිල්ලකි. පෞද්ගලික අංශයෙන් මෙවැනි පරීක්ෂණ සිදුකර ගැනීමට අපහසු සාමාන්‍ය ජනතාවට රජයේ රෝහල් පද්ධතිය තුළම මෙම පහසුකම යළි ලැබීම සුවිශේෂී ජයග්‍රහණයකි.














