පුනර්ජනනීය බලශක්ති ධාරිතාව පුළුල් කිරීමේ සහ පෞද්ගලික අංශයේ සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීමේ රජයේ උපායමාර්ගික දැක්මෙහි කොටසක් ලෙස කොන්ඩච්චි සුළං විදුලි ව්‍යාපෘතිය ප්‍රමුඛතා ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘතිය මෙගාවොට් 150ක සුළං විදුලි බලාගාරයකින් සහ අතිනවීන බැටරි බලශක්ති ගබඩා පද්ධතියකින් සමන්විත වන අතර, එය අතථ්‍ය ස්ථාවර බලශක්ති බලාගාරයක් (Virtual Firm Energy Plant) ලෙස ක්‍රියාත්මක කිරීමට හැකි වීම විශේෂත්වයක්.
තරගකාරී ලංසු කැඳවීම හරහා මෙම ව්‍යාපෘතිය සාර්ථකව ව්‍යුහගත කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ විශේෂඥතාව ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. මෙම ගනුදෙනු උපදේශන සේවාව යටතේ ලංසු ලියකියවිලි සකස් කිරීමේ සිට ටෙන්ඩර් කැඳවීම සහ ව්‍යාපෘතිය ප්‍රදානය කිරීම දක්වා වූ සමස්ත සංවර්ධන චක්‍රය පුරාවටම ආසියානු සංවර්ධන බැංකුව සිය උපදේශකත්වය සපයනු ලබනවා.
මෙම උපදේශන සේවාවන් සඳහා වන ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2ක ඇස්තමේන්තුගත පිරිවැය, ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය රාමුව යටතේ ප්‍රදානයක් ලෙස ලැබෙනු ඇත. ඒ අනුව, ලංකා විදුලිබල මණ්ඩලයේ අනුප්‍රාප්තික සමාගමක් වන ‘නැෂනල් සිස්ටම් ඔපරේටර්’ විසින් මෙම සේවාවන් ලබා ගැනීමට බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.














