දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩිවීමක් හෙට (මැයි 06) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීමත් සමඟ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත්, ගාල්ල, මාතර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලටත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මීට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.














