පුත්තලම, අට්ටවිල්ලුව ප්‍රදේශයේ පිහිටි හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුට අයත් බව පැවසෙන ඉඩමක තිබී ගිනි අවි, පතොරම් සහ වනජීවි අනුරූ ඇතුළු භාණ්ඩ තොගයක් අද (05) සොයාගත් බව පොලිසිය පවසයි.
ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත, කරුවලගස්වැව, රිටිගල සහ කුරුණෑගල වනජීවී නිලධාරීන් මෙන්ම පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා (STF) කඳවුරේ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදු කර ඇත. එහිදී ගිනි අවි සහ පතොරම් තොගයක් සමඟ දිවියකුගේ සමකින් සකස් කරන ලද අනුරුවක් සහ තිත් මුව සමක් අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත් වී තිබේ.
වැටලීම සිදුවන අවස්ථාවේදී එම ඉඩමේ වගා කටයුතු කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, තමන් මෙම ඉඩම අදාළ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් බදු පදනම මත ලබාගෙන ගොවිතැන් කරන බව ඔහු ප්‍රකාශ කර ඇති බව වනජීවී නිලධාරීහු සඳහන් කරති. සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව සහ පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.














