නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ ප්‍රදර්ශනය කෙරෙන මිල දර්ශකයට වඩා ඉතා අඩු මුදලකට තමන්ගේ අස්වැන්න මිලදී ගන්නා බවට නුවරඑළිය ප්‍රදේශයේ ගොවි ජනතාව බරපතළ චෝදනාවක් එල්ල කරති. මිල දර්ශකයේ සඳහන් මිලට වඩා කිලෝවකට රුපියල් 40 ක් හෝ 50 ක් වැනි විශාල මුදලක් අඩු කර වෙළඳුන් එළවළු මිලදී ගන්නා බව පවසන ගොවියන්, පවතින අධික වගා වියදම් හමුවේ තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියහ.
වර්තමාන තත්ත්වය අනුව අල කිලෝවක් වගා කිරීමට රුපියල් 200 කට අධික මුදලක් වැය වන අතර අනෙකුත් එළවළු සඳහා ද රුපියල් 150 ත් 200 ත් අතර පිරිවැයක් දැරීමට සිදුව ඇත. එවැනි පසුබිමක ස්ථීර මිලක් නොමැතිව රුපියල් 100 ත් 150 ත් අතර මුදලකට අස්වැන්න විකිණීමට සිදුවීම තුළින් ගොවියා විශාල ලෙස පාඩු ලබන බව ඔවුන් පෙන්වා දෙයි. මේ පිටුපස කිසියම් පිරිසක් කොමිස් ලබා ගන්නා මාෆියාවක් ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ගොවි ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මේ පිළිබඳව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරීත්වයෙන් සිදුකළ විමසීමකදී ඔවුන් පවසා සිටියේ, මිල දර්ශකයේ මිල ලබාගත හැක්කේ ගොවියන් විසින්ම මධ්‍යස්ථානයට එළවළු රැගෙන එන්නේ නම් පමණක් බවයි. ව්‍යාපාරිකයන් වගාබිම් වෙතම ගොස් එළවළු එකතු කිරීමේදී සේවක පඩි සහ ඉන්ධන වියදම් සඳහා කිලෝවකට රුපියල් 10 සිට 20 දක්වා මුදලක් අඩු කිරීමට සිදුවන බව ඔවුන් පෙන්වා දෙයි. කෙසේ වෙතත් ගොවියාට උපරිම සාධාරණය ඉටු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව කළමනාකාරීත්වය වැඩිදුරටත් සඳහන් කළේය.














