තමිල්නාඩු වෙට්‍රි කසාගම් (TVK) පක්ෂයේ නායක සුපිරි නළු තලපති විජේ අද දින තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබුණද, අවශ්‍ය බහුතර බලය තහවුරු කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් එම කටයුත්ත තාවකාලිකව කල් ගොස් තිබේ. තමිල්නාඩුවේ නව රජයක් පිහිටුවීමට අවශ්‍ය ආසන සංඛ්‍යාව විජේගේ පක්ෂය සතුව මෙතෙක් සම්පූර්ණ වී නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
විජේ ඇතුළු පක්ෂ නියෝජිත පිරිසක් ඊයේ තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් මහතා හමුවී රජයක් පිහිටුවීමට ඇති කැමැත්ත ප්‍රකාශ කළද, ආණ්ඩුකාරවරයා දැනුම් දී ඇත්තේ ඒ සඳහා අවශ්‍ය බහුතර මන්ත්‍රී සංඛ්‍යාව පෙන්වන ලෙසයි. මෙම පසුබිම තුළ තමිල්නාඩුවේ දේශපාලන කරළිය දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.
මේ අතර, තලපති විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂයට රජයක් පිහිටුවීම සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දීමට ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂය ඊයේ තීරණය කළේය. මෙවර තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් කොංග්‍රස් පක්ෂයට ආසන 5ක් හිමි වී ඇති අතර, එම සහයෝගයත් සමඟ විජේ මහ ඇමති ධුරය ලබා ගැනීමට අවශ්‍ය අනෙකුත් සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටී.














