ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ 2026 වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මාතර තිහගොඩ මිදෙල්ලවෙල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි. මැයි මස 27 වනදා සිට ආරම්භ වන වෙසක් සතිය පුරා “සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්” යන තේමාව යටතේ සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන්, කුල දරුවන් සසුන්ගත කිරීම, ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් සහ පරිසර සංරක්ෂණ වැඩසටහන් ඇතුළු ආගමික හා සමාජීය වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට මෙහිදී සැලසුම් කර තිබේ. මැයි මස 30 වන පුර පසළොස්වක පෝය දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික වෙසක් දින උත්සවය පැවැත්වීමට නියමිත අතර ඊට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම බෞද්ධ ආගමික වැඩසටහන් සංවිධානය කර ඇත.
මෙම ජාතික උත්සවයට අදාළව තොරණ ඉදිකිරීම, ප්‍රවාහන හා සනීපාරක්ෂක පහසුකම් සැපයීම, විදුලි ආලෝකකරණය මෙන්ම සෞඛ්‍ය හා මාධ්‍ය ආවරණ කටයුතු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර අදාළ ආයතන වෙත ඒ ඒ වගකීම් පැවරීම සිදු කෙරිණි. මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහා සංඝරත්නය, දකුණු පළාත් ආණ්ඩුකාරවරයා, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන් සහ දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී මීට පෙර ගන්නා ලද තීරණවල ප්‍රගතිය සහ මතුව ඇති ගැටලු නිරාකරණය කරගැනීම පිළිබඳව ද අවධානය යොමු විය. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලුම රාජ්‍ය ආයතන එක්ව මෙම උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සූදානම් කරමින් පවතී.














