ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවයට අලුතින් එක් වූ මෙට්‍රෝ බස් රථ වෙනුවෙන් රත්මලාන ශ්‍රී ලංගම ඩිපෝ පරිශ්‍රයේ ඉදිවන නව බස් අංගනය සඳහා මුල්ගල් තැබීම පසුගිය 4 වනදා සිදු විය. දෙහිවල ගල්කිස්ස ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිනී, පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් ලෙස සැලකේ. මෙට්‍රෝ බස් ධාවනයට සමගාමීව එම බස් රථ සඳහා අවශ්‍ය සේවා සැපයීම පිණිස ශ්‍රී ලංගම ඩිපෝ මූලික කරගනිමින් සේවා මධ්‍යස්ථාන 5ක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ.
ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම යටතේ ක්‍රියාත්මක වන මෙම අංගනය ඉදිකිරීම සඳහා රුපියල් 120,626,289ක මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර එහි වැඩකටයුතු දින 91ක් ඇතුළත නිම කිරීමට අපේක්ෂිතය. Electro Metal Pressing ආයතනය මෙහි කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරන අතර මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ සභාපතිවරයා ඇතුළු පිරිසක් සහභාගී වූහ. නවීන පහසුකම් සහිත මෙම අංගනය හරහා මෙට්‍රෝ බස් සේවාව වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට සහ මගීන්ට උසස් ප්‍රවාහන අත්දැකීමක් ලබා දීමට නියමිතය.














