නිවස තුළ සිදුවන ‘සුරැකුම් කාර්යය’ හෙවත් පවුලේ රැකවරණය වෙනුවෙන් කාන්තාවන් ඉටුකරන මෙහෙයට නිසි ආර්ථික වටිනාකමක් ලබා දීම කාලීන අවශ්‍යතාවක් බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කරයි. බොහෝ විට ආර්ථික දර්ශකවලට ඇතුළත් නොවන, වැටුප් රහිත මෙම සේවාව මෙරට දළ දේශීය නිෂ්පාදිතයට වක්‍රව විශාල දායකත්වයක් සපයන බව පෙන්වා දෙන ඒ මහත්මිය, ගෘහනියන්ගේ ශ්‍රමය නිසි ලෙස ඇගයීමට ලක්විය යුතු බව අවධාරණය කළාය.
පවුලක දරුවන්, වැඩිහිටියන් රැකබලා ගැනීම සහ ගෘහස්ථ කළමනාකරණය වෙනුවෙන් කාන්තාවන් කැප කරන කාලය හා ශ්‍රමය ජාතික ආර්ථිකයේ කොටසක් ලෙස හඳුනා ගැනීම හරහා ඔවුන්ට සමාජීය හා ආර්ථික සුරක්ෂිතතාවක් සැලසීමට රජය අපේක්ෂා කරයි. කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේදී ඔවුන් නිවස තුළ ඉටුකරන මෙම වගකීම සුළු කොට තැකිය නොහැකි බවත්, ඉදිරි ප්‍රතිපත්ති සැකසීමේදී මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.














