ලෝක පුවත් කලාව උඩුයටිකුරු කළ, සී.එන්.එන්. (CNN) පුවත් සේවයේ නිර්මාතෘ ටෙඩ් ටර්නර් මහතා වයස අවුරුදු 87ක්ව සිටියදී අද (07) අභාවප්‍රාප්ත විය. මාධ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකළ ඔහු, ලොව ප්‍රථම පැය 24 පුරා විකාශය වන පුවත් නාළිකාව ලෙස 1980 වසරේදී සී.එන්.එන්. පුවත් සේවය ආරම්භ කළේය. සිය පියාගේ දැන්වීම් පුවරු ව්‍යාපාරයෙන් ගමන ආරම්භ කළ ඔහු, පසුව එය ‘ටර්නර් බ්‍රෝඩ්කාස්ටිං කොම්පැනි’ (TBS) හරහා ජාත්‍යන්තර මාධ්‍ය ජාලයක් දක්වා වර්ධනය කිරීමට සමත් විය.
ටර්නර් යනු හුදෙක් මාධ්‍ය ව්‍යාපාරිකයකු පමණක් නොව, ලෝක සාමය සහ පරිසරය වෙනුවෙන් පෙනී සිටි ප්‍රමුඛ පෙළේ මානවහිතවාදියෙකි. 1997 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඇමෙරිකානු ඩොලර් බිලියනයක දැවැන්ත පරිත්‍යාගයක් සිදුකළ ඔහු, එක්සත් ජාතීන්ගේ පදනම (UN Foundation) පිහිටුවීමට ද මූලික විය. න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් වෙනුවෙන් හඬ නැගූ ඔහු, ඇමෙරිකාවේ වඳවී යමින් සිටි බයිසන් ගවයින් සංරක්ෂණය කිරීමට ද විශාල මෙහෙවරක් ඉටු කළේය.
90 දශකයේ ලොව පුරා අතිශය ජනප්‍රිය වූ ‘කැප්ටන් ප්ලැනට්’ (Captain Planet and the Planeteers) කාටූන් කතා මාලාව නිර්මාණය කිරීමට දායක වෙමින්, කුඩා දරුවන් තුළ පරිසරය පිළිබඳ ආදරයක් ඇති කිරීමට ඔහු කටයුතු කළේය. පුවත් විකාශනයේ නව මානයන් ලොවට හඳුන්වා දුන් ටෙඩ් ටර්නර්ගේ නික්ම යාම ජාත්‍යන්තර මාධ්‍ය ක්ෂේත්‍රයට පිරවිය නොහැකි පාඩුවක් බව විචාරකයෝ පවසති.














