වත්මන් රජය ඕනෑම දූෂණයක් හෝ වරදක් සිදුවූ අවස්ථාවකදී ඉතා අලස පිළිවෙතක් අනුගමනය කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය. “වරදක් කළත් සිතකින් නොවේ” වැනි සැහැල්ලු හැඟීමකින් ආණ්ඩුව හැසිරෙන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, බලයට පත්ව වසර එකහමාරක් ගතවී ඇතත් ආණ්ඩුව තවමත් ක්‍රියා කරන්නේ රියදුරු පුහුණුව ලබන ආධුනිකයෙකු ලෙස “එල් බෝඩ්” (L Board) එකක් ගසාගෙන බවත් සඳහන් කළේය.
භාණ්ඩාගාරයට ලැබෙන සෑම සතයක්ම සාංඝික දේපළක් මෙන් ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දෙමින් බලයට පත්වූ රජයට, අද වන විට සාමාන්‍ය ජනතාවගේ බදු මුදල් ටික පවා ආරක්ෂා කර ගැනීමට නොහැකි වී ඇති බව ඔහු අවධාරණය කළේය. උගන්ඩාවේ සිට ඩොලර් ගෙන එන බව පවසා බලය ලබා ගත්තද, අවසානයේ භාණ්ඩාගාරයේ ඉතිරිව ඇති ඩොලර් ටිකවත් සුරක්ෂිත කර ගැනීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය. මෙවැනි අත්දැකීම් රහිත පාලනයකින් මීට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකි බව පවසමින් ඔහු රජයේ මූල්‍ය කළමනාකරණය දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් කළේය.














