රාජ්‍ය සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා අද දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ඓතිහාසික කතාවක් සිදු කිරීමට නියමිතව තිබේ. අද පෙරවරු 11.05 ට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණෙන ජනාධිපතිවරයාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් ඉතාත් උණුසුම් අයුරින් පිළිගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
මෙම සංචාරයේ විශේෂත්වයක් ලෙස වියට්නාම් ජනාධිපතිවරයා සහ කථානායකවරයා අතර කෙටි නිල හමුවක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එහිදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අමුත්තන් සඳහා වන විශේෂ සමරු පුස්තකයෙහි සිය සටහන තැබීමට ද නියමිතය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වියට්නාම් මිත්‍රත්ව සංගමයේ සභාපති අමාත්‍ය දම්මික පටබැඳි මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අනතුරුව සභාගර්භයට පිවිසෙන වියට්නාම් ජනාධිපතිවරයා කථානායකවරයාගේ ආසනය සමීපයේ පනවා ඇති විශේෂ ආසනයේ අසුන්ගෙන පෙරවරු 11.40 ට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් සිය විශේෂ කතාව සිදු කරනු ලබයි. මෙය 2015 වසරෙන් පසු විදේශ රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරන පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වන බව ද වාර්තා වේ.
වියට්නාම් ජනාධිපතිවරයාගේ කතාවෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය සහ විපක්ෂ නායකවරයා සිය ස්තූති ප්‍රකාශයන් ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම රාජ්‍ය තාන්ත්‍රික හමුවෙන් පසු සභාව තාවකාලිකව අත්හිටුවීමට නියමිත අතර ඉන් අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් නික්ම යනු ඇත. මෙම සංචාරය දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මහඟු පිටුවහලක් වනු නොඅනුමානය.














