දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතාගේ ආරක්ෂාව සහ ගමන් පහසුව වෙනුවෙන් අද (08) දිනය පුරා කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලය, පාර්ලිමේන්තු සංකීර්ණය සහ කොළඹ මහජන පුස්තකාලය ආශ්‍රිත ප්‍රධාන මාර්ග කිහිපයක මෙම විශේෂ රථවාහන පාලනය ක්‍රියාත්මක වන බැවින් එම මාර්ග භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිස් මූලස්ථානය දැනුම් දී ඇත. විශේෂයෙන් වියට්නාම ජනාධිපතිවරයා අද පස්වරුවේ පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇති බැවින් බත්තරමුල්ල සහ ජයන්තිපුර අවට මාර්ගවල ද වරින් වර රථවාහන ගමනාගමනය සීමා වීමට ඉඩ පවතින බව වාර්තා වේ. මාර්ග තදබදය අවම කරගැනීම සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් කොළඹ ප්‍රධාන මංසන්ධිවල යොදවා ඇති අතර හැකි තාක් ප්‍රධාන මාර්ග මඟහැර විකල්ප මාර්ග ඔස්සේ ගමන් ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














