සංචාරක වීසා මත මෙරටට පැමිණ සංවිධානාත්මක ලෙස සයිබර් සහ මූල්‍ය අපරාධවල නිරත වන විදේශිකයින් වැළැක්වීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. මෑත කාලීනව බොරලැස්ගමුව සහ හබරාදූව වැනි ප්‍රදේශවලින් චීන, වියට්නාම සහ තජිකිස්ථාන ජාතිකයින් පරිගණක උපකරණ සහ ව්‍යාජ මුදල් සමඟ අත්අඩංගුවට පත්වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව, සැකකටයුතු ලෙස මෙරටට පැමිණෙන විදේශිකයින්ගේ තොරතුරු, ඔවුන් නවාතැන් ගන්නා ස්ථාන සහ වීසා කොන්දේසි උල්ලංඝනය කරන්නේද යන්න පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ ගුවන්තොටුපළ ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් පසුවෙයි. මීට අමතරව, මෙරටට පරිගණක සහ සන්නිවේදන උපකරණ විශාල වශයෙන් රැගෙන එන පුද්ගලයින් පිළිබඳව ද විශේෂ පරීක්ෂාවන් සිදු කිරීමට නියමිතය.














