ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර වාර්ෂික ද්විපාර්ශ්වික වෙළඳ ගනුදෙනු 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට දෙරටේ නායකයින් එකඟ වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (08) ප්‍රකාශ කළේය. මෙරට නිල සංචාරයක නිරත වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතා සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළ අතර මෙරට පුනර්ජනනීය බලශක්තිය, සැපයුම් දාම, යටිතල පහසුකම්, සංචාරක සහ නිෂ්පාදන යන ප්‍රමුඛතා ක්ෂේත්‍රවල පවතින ආයෝජන අවස්ථා පිළිබඳව සොයා බලන ලෙස ඔහු වියට්නාම ආයෝජකයින්ට මෙහිදී ඇරයුම් කළේය. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් වියට්නාමයෙන් මෙට්‍රික් ටොන් 100ක යුරියා සහ සුපර් පොස්පේට් පොහොර පරිත්‍යාගයක් හිමිවන බවත් කොළඹ සහ හෝචිමිං/හැනෝයි අතර සෘජු ගුවන් ගමන් සේවා මෙම වසරේදී නිල වශයෙන් ආරම්භ කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී නිවේදනය කළේය. මීට අමතරව තොරතුරු තාක්ෂණ, සංස්කෘතික, ආගමික මෙන්ම විද්‍යා හා තාක්ෂණ යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි දෙරට අතර අවබෝධතා ගිවිසුම් (MoU) පහකට ද අද අත්සන් තැබිණි.














