ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිල ලාංඡනය සහ නාමය අවභාවිත කරමින් ජංගම දුරකථන යෙදුමක් හරහා සිදුකරනු ලබන මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කර තිබූ නිවේදනයක් නිවැරදි කරමින් නව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. පසුගිය අප්‍රේල් 23 වනදා නිකුත් කළ නිවේදනයේ වංචනික අංකයක් ලෙස වැරදීමකින් ඇතුළත් කර තිබූ 011-7771979 දරන දුරකථන අංකය ගුවන් සමාගමේ නිල සහ නීත්‍යානුකූල අංකය බව තහවුරු වීමත් සමඟ පොලිසිය එම අංකය වංචනික ලැයිස්තුවෙන් ඉවත් කර ඇත. වංචාකරුවන් WhatsApp පණිවිඩ හරහා SriLankan.apk නමැති ව්‍යාජ බැංකු ට්‍රෝජන් මෘදුකාංගයක් හඳුන්වා දෙමින් පුද්ගලික දත්ත සහ බැංකු ගිණුම් තොරතුරු සොරාගන්නා බව විමර්ශනවලදී හෙළි වී තිබේ. මේ සඳහා සැබෑ ගුවන් සමාගමේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි කිහිපයක් භාවිත කරන අතර එමගින් ජංගම දුරකථනවලට රහසිගතව ඇතුළු වී මුදල් වංචා කිරීමට ඔවුන් කටයුතු කරයි. 077-4558361, 074-1142208, 077-5791209 සහ 074-3268200 යන දුරකථන අංක මෙම වංචාව සඳහා දැනට භාවිත කරන බවට හඳුනාගෙන ඇති බැවින් එවැනි අංකවලින් හෝ නිල නොවන වෙබ් අඩවිවලින් ලැබෙන පණිවිඩ කෙරෙහි දැඩි අවධානයෙන් පසුවන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














