ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලේයන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව, යුරෝපා සංගමය වෙත යළිත් දැඩි තීරුබදු කොන්දේසි පැනවීමට ඇමෙරිකාව පියවර ගෙන තිබේ.
ස්කොට්ලන්තයේ පැවති සාකච්ඡාවලදී එකඟ වූ වෙළෙඳ ගිවිසුම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ලබන ජූලි 04 වනදා දක්වා කාලය ලබා දෙන බවත්, එසේ නොවුණහොත් යුරෝපා සංගමයෙන් ඇමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා “ඉතා ඉහළ තීරුබදු” පැනවීමට සිදුවන බවත් ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. යුරෝපා සංගමය සිය පාර්ශවයෙන් පොරොන්දු වූ පරිදි තීරුබදු ශුන්‍ය මට්ටමට අඩු කිරීමට මෙතෙක් පියවර නොගැනීම මෙම අනතුරු ඇඟවීමට හේතුවී තිබේ.
විශේෂයෙන්ම යුරෝපා නිෂ්පාදිත මෝටර් රථ සඳහා වන තීරුබදු 15% සිට 25% දක්වා ඉහළ නැංවීමේ අවදානමක් පවතින අතර, එය ජර්මනිය වැනි රටවල මෝටර් රථ කර්මාන්තයට දැඩි තර්ජනයක් වනු ඇත. කෙසේ වෙතත්, යුරෝපා පාර්ලිමේන්තුව අදාළ නීති සම්පාදනය සඳහා දැනටමත් කටයුතු කරමින් සිටින අතර, නියමිත කාලසීමාවට පෙර මෙම ගැටලුව විසඳා ගැනීමට හැකි වනු ඇතැයි උර්සුලා වොන් ඩර් ලේයන් විශ්වාසය පළ කරයි.














