රුසියාවේ මොස්කව් නුවර රතු චතුරශ්‍රයේදී වාර්ෂිකව මහත් අභිමානයෙන් පවත්වනු ලබන විජයග්‍රාහී දින පෙළපාලිය මෙවර වෙනදාට වඩා බෙහෙවින් වෙනස් මුහුණුවරක් ගෙන තිබුණි. ආරක්ෂක හේතූන් මත මෙවර පෙළපාලිය සඳහා කිසිදු යුද ටැංකියක්, රොකට් විදින පද්ධතියක් හෝ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් ප්‍රදර්ශනය කිරීමට ක්‍රෙම්ලිනය පියවර නොගත් අතර එය හුදෙක් සෙබළුන්ගේ ගමන් විලාසයන්ට පමණක් සීමා විය. යුක්රේනය විසින් එල්ල කළ හැකි ඩ්‍රෝන ප්‍රහාර පිළිබඳ පවතින බිය හේතුවෙන් මෙලෙස පෙළපාලිය සීමා කිරීමට ජනාධිපති පූටින්ට සිදුව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මෙවර උත්සවය සඳහා සහභාගී වූ විදේශීය නායකයින්ගේ සහ මාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාව ද කැපී පෙනෙන ලෙස අඩු වී තිබූ අතර රුසියාව සිය මිලිටරි බලය ලොවට ප්‍රදර්ශනය කරන සාම්ප්‍රදායික අවස්ථාව මෙවර වීඩියෝ දර්ශනවලට පමණක් සීමා විය. රතු චතුරශ්‍රයේ සවිකර තිබූ දැවැන්ත තිර හරහා රුසියාව සතු නවීන අවි ආයුධ ප්‍රදර්ශනය කිරීමට බලධාරීන් කටයුතු කළේ සැබෑ යුද අවි ධාවන පථයට ගෙන ඒම අවදානම් සහගත බැවිනි. අමෙරිකානු මැදිහත්වීමෙන් ලැබුණු තෙදින සටන් විරාමය හේතුවෙන් පෙළපාලිය කිසිදු අනතුරකින් තොරව නිම කිරීමට හැකි වුවද මෙය රුසියාවේ යුද ශක්තිය පිළිබඳව ලොවට ලබාදුන් වෙනස්ම ආකාරයේ පණිවිඩයකි.
ජනාධිපති ව්ලැඩිමීර් පූටින් සිය දේශනයේදී රුසියාව සැමවිටම ජයග්‍රාහී වන බව ප්‍රකාශ කළද, වසර හතරකට අධික කාලයක් තිස්සේ ඇදෙන යුක්රේන යුද්ධය හමුවේ මෙවර පෙළපාලිය මෙතරම් චාම් ලෙස පැවැත්වීමට සිදුවීම රුසියානු පාලනයේ යම් පසුබෑමක් ලෙස දේශපාලන විචාරකයෝ හඳුන්වති. 1945 දී ලැබූ ශ්‍රේෂ්ඨ විජයග්‍රහණය සැමරීමට රුසියානුවන් උත්සාහ කළද, වත්මන් යුදමය වාතාවරණය හමුවේ ඔවුන්ගේ සාම්ප්‍රදායික උදම් ඇනීම යටපත් වී ඇති බව පෙනෙන්නට තිබුණි. යුක්රේන රජය විසින් මෙම උත්සවය පැවැත්වීමට අවසර දෙන බව පවසමින් රුසියාවට එල්ල කළ උපහාසාත්මක ප්‍රකාශ ද මෙවර උත්සව සමයේ දැඩි කතාබහට ලක්විය.














