ඉන්දුනීසියාවේ උතුරු හල්මහෙරා ප්‍රදේශයේ පිහිටි දුකෝනෝ (Mount Dukono) ගිනිකන්ද හදිසියේ පිපිරීමත් සමඟ එහි සංචාරය කරමින් සිටියදී අතුරුදහන් වූ සිංගප්පූරු ජාතිකයන් දෙදෙනෙකු සෙවීමේ මෙහෙයුම් දැඩි අසීරුතාවයට පත්ව තිබේ. අඛණ්ඩව සිදුවන ගිනිකඳු පිපිරීම් සහ ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සහන සේවා කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බව ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කරයි. අතුරුදහන් වූවන් මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවට සැක පළ කළද, ඔවුන් සොයා අද උදෑසන සිටම විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
මෙම සෝදිසි මෙහෙයුම සඳහා සහන සේවා නිලධාරීන් 150කට අධික පිරිසක් එක්ව සිටින අතර, තාප සංවේදක සහිත ඩ්‍රෝන යානා (Thermal Drones) දෙකක් ද ඒ සඳහා යොදවා තිබේ. ගිනිකඳු මුඛයේ සිට මීටර් 100ත් 150ත් අතර ප්‍රමාණයක දුරක් ආවරණය වන පරිදි සෝදිසි කිරීම් සිදු කෙරෙන බව ප්‍රාදේශීය ගලවා ගැනීමේ ඒජන්සියේ ප්‍රධානී ඉවාන් රම්දානි සඳහන් කළේය. භයානක ලෙස අළු සහ දුමාරය පිටවන තත්ත්වයක් යටතේ වුවද, අතුරුදහන් වූවන් පිළිබඳ තොරතුරක් සොයා සහන කණ්ඩායම් දැඩි වෙහෙසක් දරමින් සිටිති.














