රටේ අනාගත සංවර්ධන කටයුතු සඳහා විපක්ෂයේ සිටින දක්ෂ සහ බුද්ධිමත් පිරිස් ආණ්ඩුව සමඟ එක් කර ගැනීමට සූදානම් බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. දැනටමත් උගත් සහ ප්‍රායෝගික දැනුම ඇති පිරිස් ආණ්ඩුව වටා රොක් වී සිටින බවත්, තවදුරටත් එවැනි පිරිස් දායක කර ගැනීම රජයේ අපේක්ෂාව බවත් ඔහු සඳහන් කළේය.
ගතවූ වසරක කාලය තුළ බදු බර පටවන්නේ නැතිව රටේ ආදායම දෙගුණ කිරීමටත්, අයවැය හිඟය 50%කින් අඩු කිරීමටත් හැකි වූයේ බුද්ධිමත් කණ්ඩායම් ආණ්ඩුව මෙහෙයවන නිසා බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ හානි පියවීමට රුපියල් කෝටි 77,000ක් වැනි විශාල මුදලක් වෙන් කිරීමටත්, පොහොර සහ ශිෂ්‍යාධාර දෙගුණ කිරීමටත් හැකි වූයේ එම නිසි කළමනාකරණය හේතුවෙන් බව ඔහු වැඩිදුරටත් පැවසීය. විපක්ෂයේ සිටින, රජයේ ප්‍රතිපත්ති සහ යෝජනා පිළිබඳ අවබෝධයක් ඇති දක්ෂ පුද්ගලයන්ට රට ඉදිරියට ගෙනයාම සඳහා තමන් සමඟ එක්විය හැකි බව ඔහු මෙහිදී අවධාරණය කළේය.














