වසර 26ක නිහඬතාවයකින් පසු ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීමට පියවර ගත් බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි. අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ, සංශෝධිත පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් 22 වනදා ගැසට් කර මැයි 06 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි. කාලීන අවශ්‍යතා සපුරාලන පරිදි සිදුකර ඇති මෙම සංශෝධනය මෙරට පාරිසරික නීති පද්ධතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇත.
මීට අමතරව, වනජීවී සංරක්ෂණය වෙනුවෙන් ගත් තවත් වැදගත් පියවරක් ලෙස ශ්‍රී ලංකාව “ජාත්‍යන්තර විසල් බිළාල සංගමයට” (International Big Cat Alliance) නිල වශයෙන් ඇතුළත් වූ බව ද අමාත්‍යවරයා අනාවරණය කළේය. ඉන්දියාවේ මූලිකත්වයෙන් ආරම්භ වූ මෙම සංගමය හරහා ලොව වඳවී යාමේ තර්ජනයට මුහුණ දී සිටින කොටියා, දිවියා, සිංහයා ඇතුළු ප්‍රධාන බළල් විශේෂ 07ක් සංරක්ෂණය කිරීමට අපේක්ෂිතය. මෙම සාමාජිකත්වය හරහා ශ්‍රී ලංකාවට ආවේණික දිවියා (Sri Lankan Leopard) සංරක්ෂණය කිරීමට ජාත්‍යන්තර සහයෝගය සහ නව අවස්ථා හිමිවන බව ද අමාත්‍ය ධම්මික පටබැඳි මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














