ඓතිහාසික යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීම සහ එම පරිශ්‍රය ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (11) බුද්ධශාසන අමාත්‍යාංශයේදී (දහම්පාය) පැවැත්විණි. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වුණි.
යාපහුව රාජධානියේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක අනන්‍යතාව සුරක්ෂිත කරමින් නවීන සංචාරක අවශ්‍යතා සපුරාලිය හැකි අයුරින් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය වැඩිකර ගැනීම සඳහා එම ස්ථානයේ ඓතිහාසික වටිනාකම විදහා දැක්වීමට අවශ්‍ය යෝජනා රැසක් ද මෙහිදී ඉදිරිපත් කෙරිණි.
මෙම අවස්ථාවට යාපහුව රජමහා විහාරාධිපති පූජ්‍ය නුගලියද්දේ සමිතනන්ද හිමිපාණන් වහන්සේ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් වික්‍රමසිංහ මහතා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ මහතා ඇතුළු පුරාවිද්‍යා හා සංස්කෘතික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














