ශ්‍රී ලංකාවේ සුන්දරත්වය විඳගැනීමට පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව සහ රටේ ගෞරවය දැඩි ප්‍රශ්නාර්ථයකට ලක්කරමින්, දකුණු වෙරළ තීරයේ අතිශය ජනප්‍රිය සංචාරක කලාපයකින් ඉතා පිළිකුල් සහගත පුවතක් වාර්තා වේ. සුවපහසුව සහ සැනසීම සොයා පැමිණෙන ස්ථානයකදී කිසිසේත්ම බලාපොරොත්තු නොවිය හැකි ම්ලේච්ඡ ක්‍රියාවක් හේතුවෙන් විදේශීය කාන්තාවකගේ ගෞරවයට හානි සිදුව ඇති අතර, මෙම සිදුවීම මුළු රටේම සංචාරක කර්මාන්තයට එල්ල කළේ දැඩි මරු පහරකි. විශ්වාසය මත පදනම් වූ වෘත්තීය සේවාවන් අවභාවිත කරමින් සිදුකරන මෙවන් ක්‍රියා හමුවේ මෙරට ප්‍රතිරූපය ජාත්‍යන්තරය හමුවේ දැඩි අභියෝගයකට ලක්ව තිබේ.
ගාල්ල, උණවටුන ප්‍රදේශයේ පිහිටි ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණි ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවකට අතවර කළ බව කියන 38 හැවිරිදි සැකකරුවෙකු උණවටුන සංචාරක පොලීසිය විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සම්බාහන ආයතනයේම සේවය කරන මෙම පුද්ගලයා විසින් සිදුකළ මෙම අශෝභන ක්‍රියාව සම්බන්ධයෙන් සංචාරක පොලිස් කොට්ඨාසයට ලද පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් පුළුල් විමර්ශනයක් ආරම්භ කරන ලදී. ඒ අනුව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මෙවන් සිදුවීම් හුදෙක් එක් පුද්ගලයෙකුගේ වැරැද්දකට වඩා සමස්ත දේශීය ව්‍යවසායකත්වයේ සහ ආගන්තුක සත්කාරයේ පිරිහීමක් ලෙස සැලකිය යුතු අතර, මින් ඉදිරියට හෝ මෙවැනි අපරාධ වැළැක්වීමට බලධාරීන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතුව ඇත. සංචාරක කර්මාන්තය මත යැපෙන දහස් සංඛ්‍යාත ජනතාවකගේ අනාගතය මෙවැනි අසම්මජාතී මිනිසුන්ගේ පහත් ක්‍රියාවන් නිසා අඳුරේ වැටීමට ඉඩ දිය නොහැක. අපේ රටට පැමිණෙන අමුත්තන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සෑම පුරවැසියෙකුගේම වගකීමක් වන අතර, නීතිය අකුරටම ක්‍රියාත්මක කර වරදකරුවන්ට උපරිම දඬුවම් ලබා දීම යුගයේ අවශ්‍යතාවයකි.
















