අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර, ඔහුගේ හිස කඳින් වෙන්කර රත්නාවලී දේවී පිළිරුවක් මත තබා යාමේ අමානුෂික පුවත පිටුපස ඇති තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලීසිය සමත්ව තිබේ. මෙම අපරාධයට සෘජුවම සම්බන්ධ වූ සලිත උදයංග මල්ලිකාරච්චි නොහොත් ‘මෙත්ත ලොකු’, චමීර උදයංග සහ සාරංග දර්ශන නැමැති සැකකරුවන් තිදෙනාම මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් මෙම සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකු අද (13) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගිනි.
පොලිස් විමර්ශනවලට අනුව, මෙම ඝාතනය සැකකරුවෙකුගේ සහෝදරයෙකු මරා දැමීමට පළිගැනීමක් ලෙස සිදු කරන ලද්දකි. ඝාතනයට ලක් වූ ලක්මාල් සඳරුවන් හෙවත් ‘පොඩී’ නැමැති 34 හැවිරිදි පුද්ගලයා, 2025 වසරේදී එම ප්‍රදේශයේම සිදු වූ ත්‍රිත්ව ඝාතනයක සැකකරුවෙකු වන අතර, එම ඝාතනයෙන් මියගිය ‘මෙත්ත පොඩී’ නැමැත්තා දැනට අත්අඩංගුවට ගත් ‘මෙත්ත ලොකු’ ගේ සහෝදරයා බව හෙළි වී තිබේ. මියගිය ලක්මාල් සඳරුවන් ඇප මත මුදාහැර සිටි අයෙකු වන අතර, පසුගිය මැයි 11 වැනිදා ඔහුගේ උපන්දිනය දා සැකකරුවන් බීමතින් පැමිණ මෙම අපරාධය සිදු කර ඇත.
මෙය මුළුමනින්ම සැලසුම් සහගත ඝාතනයක් බවත්, හිස කඳින් වෙන්කර රැගෙන යාමේ සැලසුම දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ‘කරුණ ලොක්කා’ නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවටත් පොලීසිය සැක කරයි. අපරාධයට සම්බන්ධ අනෙක් පිරිස් බිය ගැන්වීම සඳහා හිස පිළිරුව මත තැබූ බව සැකකරුවන් පවසා තිබේ. නීතිවිරෝධී මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් ඇති වූ ආරවුල් මෙම ඝාතන වැලට මූලික වී ඇති අතර, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.













